2019 වසරේ අප්‍රේල් 21 වැනිදා මෙරට කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට අදාළ නඩුවේ තීන්දුව ලබන 22 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
සහරාන් හෂීම් ප්රමුඛ අන්තවාදී කණ්ඩායමක් විසින් සිදුකළ මෙම ප්‍රහාරවලට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 23,270ක් යටතේ විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණි. නඩු විභාගය අතරතුර එක් විත්තිකරුවෙකු මියයෑම හේතුවෙන් සෙසු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන ගියේය.
මෙම නඩුව විභාග කරනු ලැබුවේ නවරත්න මාරසිංහ (සභාපති), රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේය. අධිකරණ ඉතිහාසයේ වැඩිම චෝදනා ප්‍රමාණයක් ගොනු කර තිබූ නඩුව ලෙසද මෙය සැලකේ.
පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 547 දෙනෙකුගේ සාක්ෂි විභාග කිරීමෙන් අනතුරුව, පසුගිය අගෝස්තු මස විත්තියේ සාක්ෂි විභාගයද අවසන් විය. දෙපාර්ශ්වයේ ලිඛිත දේශන සැප්තැම්බර් 08 සහ 09 යන දිනවල ඉදිරිපත් කිරීමෙන් පසු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා මෙලෙස දිනයක් නියම කර ඇත.
