ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව සිදුවූ බව කියන අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරික නිමල් පෙරේරා මහතාට එරෙහිව ඕස්ට්‍රේලියාවේදී නීතිමය පියවර ගැනීම සඳහා කටයුතු සිදුවෙමින් පවතින බව වාර්තා වේ.
මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී, එයාර්බස් සමාගමෙන් ලැබුණු ඇමෙරිකානු ඩොලර් 800,000ක මුදලක් නිමල් පෙරේරා මහතා සභාපතිත්වය දැරූ සමාගමකට අයත් සිංගප්පූරු බැංකු ගිණුමකට බැර වී ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට පෙන්වා දී තිබේ. එම මුදලින් රුපියල් මිලියන 100ක් නාමල් රාජපක්ෂ මහතාට ලබාදුන් බවට නිමල් පෙරේරා මහතා විසින් ලබාදුන් බව කියන දිවුරුම් ප්‍රකාශයක්ද සාක්ෂි ලෙස ඉදිරිපත්ව ඇත.
එමෙන්ම, ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳට සම්බන්ධ සමාගමක ගිණුමකටද එයාර්බස් සමාගමෙන් මුදල් ලැබී ඇති බවත්, ඉන් කොටසක් නිමල් පෙරේරා මහතාගේ සමාගම වෙත මාරු වී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මේ අතර, නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින්, එම ප්‍රකාශවල විශ්වසනීයත්වය සහ භෞතික සාක්ෂි නොමැති බව අධිකරණය හමුවේ අවධාරණය කර ඇත. මෙම විමර්ශන සඳහා ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ප්‍රංශය සහ ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක සහාය ලබාගෙන ඇති බවද සඳහන් වේ.
එයාර්බස් ගනුදෙනුවට අදාළ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ මහතා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර, ඔහු යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
