‘සිහින ගමනාන්තය’ (Dream Destination) ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්කරණය කරන ලද බම්බලපිටිය දුම්රිය ස්ථානය පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණි. ප්‍රවාහන, මහාමාර්ග සහ නගර සංවර්ධන අමාත්‍යාංශය සහ දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව ‘පිරිසිදු ශ්‍රී ලංකාවක්’ ජාතික වැඩසටහනට සමගාමීව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.

මෙම අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මහත්මිය සඳහන් කළේ, පොදු ප්‍රවාහන සේවාව ජනතාවට වඩාත් පහසු සහ ආරක්ෂිත විකල්පයක් බවට පත් කිරීම රජයේ අරමුණ බවයි. රටක දියුණුව මනිනු ලබන්නේ පෞද්ගලික වාහන සංඛ්‍යාවෙන් නොව, පොදු ප්‍රවාහනය ජනතාව භාවිතා කරන ආකාරය අනුව බවද ඇය අවධාරණය කළාය.

බම්බලපිටිය දුම්රිය ස්ථානයට පිවිසීම සඳහා ඉදිකරන ලද නව පදික උඩින් ගමන් කිරීමේ පාලම සඳහා දාවුදි බෝරා ප්‍රජාව රුපියල් මිලියන 60ක දායකත්වයක් ලබා දී ඇත. මෙම සමාජ සත්කාරය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය සිය ස්තූතිය පළ කළාය.

නගර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, ඉදිරි වසරේදී දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා වැඩි අරමුදල් වෙන් කිරීමට අපේක්ෂා කරන බවයි. විශේෂයෙන්ම මරදානේ සිට රාගම, පානදුර සහ මාකුඹුර දක්වා විදුලි දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම උත්සවය සඳහා නියෝජ්‍ය කථානායක ආචාර්ය රිස්වි සාලි, නියෝජ්‍ය අමාත්‍යවරුන්, කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ දාවුදි බෝරා ප්‍රජාවේ නියෝජිතයන් පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version