සවුදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටින ශ්‍රී ලාංකික අනෝජන් සිවරාසාගේ ජීවිතය බේරා ගැනීම සඳහා කඩිනම් රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක අවශ්‍යතාවය මතුව තිබේ. ඒ වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතාගේ මැදිහත්වීම ලබා ගැනීමට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.

මීට පෙර මාලදිවයිනේදී අත්අඩංගුවට ගෙන රඳවා සිටි ලහිරු මධුශංක නැමැත්තා නිදහස් කර ගැනීමට ෆයිසර් මුස්තාපා මහතා සිදුකළ මැදිහත්වීම මෙම යෝජනාවට පදනම් වී ඇත. 2018 වසරේදී මාලදිවයිනේදී අත්අඩංගුවට ගත් ලහිරුට එරෙහිව බරපතල චෝදනා එල්ල වී තිබුණද, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිදුකළ මැදිහත්වීම් හේතුවෙන් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව ඔහු නිදහස් කර ගැනීමට හැකි විය.

එම පූර්වාදර්ශය අනුව, සවුදි අරාබිය සහ කලාපීය රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳ අත්දැකීම් ඇති ෆයිසර් මුස්තාපා මහතා වැනි අයෙකු මෙම කටයුත්ත සඳහා යොදා ගත හැකි බවට මත පළවී තිබේ. අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීමට ඇත්තේ ඉතා කෙටි කාලයක් බැවින් නීතිමය ක්‍රියාමාර්ගවලට අමතරව මානුෂීය මැදිහත්වීමක්ද අත්‍යවශ්‍ය බව අවධාරණය කෙරේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කර ඇත්තේ, සවුදි නීතියට ගරු කරමින් රාජකීය සමාවක් ලබා ගැනීමේ රාජ්‍ය තාන්ත්‍රික මාර්ගය ඔස්සේ කටයුතු කිරීමේ හැකියාව පිළිබඳව තමා අවධානය යොමු කර ඇති බවයි.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version