මිනිසුන්ට පමණක් නොව සතුන්ටද ආරක්ෂිත සහ අයත් බවක් දැනෙන නගර නිර්මාණය කිරීමේ අරමුණින් ‘ජීවන නගර’ (Life Cities) සංවර්ධන වැඩසටහන කොළඹදී දියත් කෙරිණි. ‘සමෘද්ධිමත් දේශයක් – සුන්දර ජීවිතයක්’ යන ප්‍රතිපත්ති මාලාවට සමගාමීව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

මෙම වැඩසටහන යටතේ දිවයින පුරා නගර 26ක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 65ක ප්‍රතිපාදන වෙන් කර තිබේ. එහි පළමු අදියර යටතේ මාතර, මඩකලපුව, මාතලේ, වවුනියාව, බදුල්ල, යාපනය, හලාවත, හැටන්, තලාව සහ ඇහැලියගොඩ යන නගර සඳහා ව්‍යාපෘති සැලසුම් භාර දීම සිදු විය.

උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළේ, නගරයක් යනු කොන්ක්‍රීට් ගොඩනැගිලි පමණක් නොව එහි වෙසෙන සියලු ජීවීන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සහතික කළ යුතු ස්ථානයක් බවයි. අතීතයේ නගර සංවර්ධනය අක්‍රමවත් ලෙස සිදුවීම හේතුවෙන් ජනතාව මුහුණ දුන් ගැටලු මගහරවා ගනිමින්, නගරයේ අනන්‍යතාව ආරක්ෂා වන පරිදි මෙම සංවර්ධන කටයුතු සිදු කරන බව ඇය පැවසුවාය.

ප්‍රවාහන, මහාමාර්ග සහ නගර සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ, නගර සංවර්ධනය යනු හුදෙක් ගොඩනැගිලි ඉදිකිරීමක් නොව ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමක් බවයි. තෝරාගත් නගරවල නගරාධිපතිවරුන් වෙත වහාම වැඩ කටයුතු ආරම්භ කරන ලෙස උපදෙස් ලබා දුන් අතර, ව්‍යාපෘතියේ ප්‍රගතිය මත ඉදිරි අරමුදල් ලබා දෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Share.
Leave A Reply

© 2026 Sinhala4. All rights reserved.

Exit mobile version