පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් මහතාට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් වෙත පැමිණීමට අවශ්‍ය වීසා බලපත්‍රය ඇමරිකා එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කර ඇත. පලස්තීන ජනතාව මුහුණ දෙන අර්බුද සහ ගැටුම් පිළිබඳව ලෝක ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණින් ඔහු මෙම සංචාරයට සූදානම් වී සිටියේය.
ඇමරිකාව විසින් පලස්තීන ජනාධිපතිවරයාට වීසා ලබා නොදීම දෙවන වසරටත් සිදුවූවකි. මෙම තීරණයට එරෙහිව ජාත්‍යන්තර මට්ටමින් දැඩි විරෝධයක් මතුව ඇති අතර, පලස්තීන නියෝජිතයින් පෙන්වා දෙන්නේ මෙය රාජ්‍ය තාන්ත්‍රික මූලධර්මවලට පටහැනි බවයි.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය හමුවේ ජනාධිපති අබ්බාස් මහතාට ලබන සතියේ පැවැත්වෙන ලෝක නායකයින්ගේ වාර්ෂික සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඇමතීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් විය. එම යෝජනාවට පක්ෂව ඡන්ද 152ක් ලැබුණු අතර, ඒ අනුව ඉදිරි වසර තුළ පලස්තීන ඉහළ පෙළේ නිලධාරීන්ට වීඩියෝ තාක්ෂණය හරහා එක්සත් ජාතීන්ගේ රැස්වීම්වලට සහභාගී වීමට අවස්ථාව හිමිවනු ඇත.
1947 වසරේ අත්සන් තැබූ එක්සත් ජාතීන්ගේ මූලස්ථාන ගිවිසුම අනුව, නිව්යෝර්ක් හි පිහිටි මූලස්ථානය වෙත විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින්ට ප්‍රවේශ වීමට ඉඩ ලබා දීම ඇමරිකාවේ වගකීමකි. එසේ වුවද, විවිධ හේතු දක්වමින් ඇමරිකාව මෙම වීසා තහනම සාධාරණීකරණය කිරීමට උත්සාහ දරමින් සිටී.
